ගානියා බැනිස්ටර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හා ඔහුගේ ආණ්ඩුව අපකීර්තියට පත්කරන්නට කළ බොරු පැමිණිල්ලක් ගැන වරද පිළිගත්තා යැයි සිරස්තල මවන විට, සැලකිල්ලට ගත යුතු කාරණා බොහොමයක් තිබෙන බව ද තේරුම් ගත යුතුයයනුවෙන් "ගානියා බැනිස්ටර් වරද පිළිගත් බව ඇත්තයි.ඒත් කතාව සරල නැත" මැයෙන් අපි ගිය සතියේ ලියූ ලිපිය අවසානයේ සදහන් කළෙමු.
බොහෝ දෙනකු ඒ 'වරද පිළි ගැනීම" ගැන ලියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ අපකීර්තියට පත්කරන්නට ගානියා බැනිස්ටර් ඇටවූ උගුලක් අසාර්ථක වීම නිසා, ඇය තමා කළේ බොරුවක් බව ප්‍රසිද්ධියේ පිළිගත් හැටියටය. සමහරුන් මහාධිකරණය දුන් අධිකරණ තීන්දුවෙන් ගානියා බැනිස්ටර්ගේ මහා බොරුව එලිවී ඇති බව කියා තිබුණි.
ඇත්ත වශයෙන්ම මහාධිකරණය, නඩුවක් අසා තීන්දුවක් දුන්නේ නැත. නඩුව අසන්නට පෙරම විත්තිකාරිය කළ වරද පිළි ගැනිම අනුව, එය ලේඛන ගත කොට ඊට අදාළව දඩුවම් නියම කළා පමණි. එහෙත්' මතුපිටින් බලා වරද පිළිගනිම නිසා ඇය වරද කාරියම බව කියන්නටද කෙනෙකුට හැකිය. එහෙත් කතාව එතරම් සලර නැත.
ගානියා බැනිස්ටර් අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන, ඊට අදාළ වන්දි මුදල්ද වහාම ගෙවා, සිය විදෙස් ගමන් බලපත්‍රයද අධිකරණ භාරයෙන් මුදවා ගෙන,පය 48ක් ඇතුළත ලංකාවෙන් ස්විට්සර්ලන්තයට පිටත්ව ගිය බව දැන ගන්නට තිබේ. ඒ ස්විට්සර්ලන්තයේ සිටින ස්වාමිපුරුෂයා හා දරුවන් දෙදෙනා සමග එකතු වෙන්නටය.
සිදු වීම වුවායැයි කියන 2019 නොවැම්බර් 25 දින සිට.රටින් පිටවූ මේ අවස්ථාව දක්වා ඇය විදි ගැහැට හා පීඩනය සුළු පටු නැත. එහි ප්‍රතිඵලය ලෙස බරපතල මානසික් කඩා වැටීමකට හා අවපිඩනයට ලක්වූ ඈ ජීවිතය තවදුරටත් පවත්වා ගැනීම සම්බන්ධයෙන් බලවත් පසුබැමක සිටි බව තතු දන්නෝ දනිති. ජනාධිපති කෙනෙකුට විරුද්ධව අහේතුක බොරු කිව්වම එහෙම තමා විපාක විදින්නම වෙනවා යැයි කිසිවකුට ඒ තත්ත්වයද පැහැදිළි කළ හැකිය. එහෙත් කාරණය ඒ තරම් සරළ නැත.
ගානියා වරද පිළි ගත්තේ, ඒ වරද ඇය කළ නිසාම නොවන්නට හේතු ඕනෑ තරම් තිබෙන්නට පුළුවන. අධිකරණවල සිදු වන දේ හුරු පුරුදු නම් විත්තිකරුවන් හෝ සැකකරුවන් වරද පිළිගන්නේ හුදෙක් එම වරද තමා කළ නිසාමත් නොවන බව පැහැදිලි වනු ඇත. එවැනි වරද පිළිගැනීමකට එක හේතුවක් වන්නේ නඩුව ඉක්මනින් අවසන් කර ගැනීමය.
තමා පැහැර ගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම් කිරීම ගැන ගානියා බැනිස්ටර් කළේ හුදු බොරුවක් නම් ඇය ලංකාවේ නීතිය රවටා තිබේ. ලංකාවේ ස්විස් තානාපති කාර්යාලය රවටා තිබේ. තානාපති, දෙවැනි නිලධාරී පමණක් නොව, එහි මුළු රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයම රවටා තිබේ. ඒ විතරක් නොවේ ස්විට්සර්ලන්ත රාජ්‍යය පවා රවටා තිබේ. මාලිගාවත්තේ තනි ගැහැනියකට ඒ තරම් වික්‍රමයක් කළ හැකි නම් ඒ ගැන පුදුම විය යුතු නොවේද..?
සිදු වීම් දෙකක් තිබේ. එකක්, ගානියා තානාපති කාර්යාලයේ සිට සවස 4.30ට පිටතට පැමිණ තම දරුවන්ගේ පාසලේ දෙමාපිය රැස්වීමකට සහභාගී වෙන්නට කොළඹ පුරහල ආසන්නයේ ශාන්ත බ්‍රිජට් කනයාරාමයට යද්දී වාහනයකින් පැමිණි පස්දෙනකු ඇය පැහැර ගෙන ගොස්, ලිංගික අඩන්තේට්ටම් කර තර්ජනය කරමින් ප්‍රශ්න කළ බවය. ඇය පසුව පැමිණිලි කළේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙනි.
දෙවැනි සිදුවීම නොවැම්බර් මස 25 වැනිදා සවස බම්බලපිටිය පැල්මයිරා මාවතේ පිහිටි ගොරුවරියකගේ මහල් නිවෙසකට ගිය බවත්, එම නිවෙස තුළ සාලයේදී කිසියම් පිරිසක් තමන්ට පහරදී තර්ජනය කර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ විදේශගත වීම පිළිබද ප්‍රශ්න කළ බවත්ය.
හැබැයි, මේ අවස්ථා දෙකේදීම අසා ඇති ප්‍රශ්නය එකකි. ඒ වන විටත් (එනම් ඊට පැය කිහිපයකට පෙර) ලංකාවෙන් පිටත්ව ස්විට්සර්ලන්තය බලා ගිය සීඅයිඩයේ සංවිධානාත්මක අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට විසා ලැබුණේ කොහොමද යන්නයි.
සීඅයිඩිය ගානියාගේ සිදුවීම විමර්ශනය කර පැවසුවේ ඇය කියන පරිදි, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී පහර ගැනීමකට ලක්වූ බවට කිසිම සිසිටිවියකින් පවා තොරතුරක් සොයා ගත නොහැකි වුණු බවයි. ඒ නිසා ඇය පොලිසිය නොමග යවා ඇති බවයි. ඇය කියූ දිනයේ එම වෙලාවට අදාළව පැල්මයිරා නිවාස සංකීර්ණයේ සිසිටිවී කැමරා පද්ධතිය සීඅයිඩී නිලධාරීන් පරික්ෂා කළ නමුත් ඇය එහි ගොස් නැති බවය. නිවෙස හිමිකාර ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සීඅයිඩියට කියා සිටියේ ගානියා බැනිස්ටර් සදහන් කරන ආකාරයේ කිසිදු සිදුවීමක් සිය නිවෙස තුළ සිදු නොවූ බවයි.
ගානියාට පොලිසිය නොමග යවා බොරු සිද්ධියක් මවන්නට අවශ්‍ය වුණේ ඇයි..? සමහරුන් කියන පරිදි වුවමනා වී තිබුණේ ස්විට්සර්ලන්තයට පිටත්ව යන්නට නම් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ විසා නිලධාරිනියක වන ඇයට ඒ සදහා පහසු මාර්ග ඕනෑවටත් වඩා තිබෙන්නට ඇත. එසේ තිබියදී, පැහැර ගැනිමක් ගැන ලිංගික, අඩන්තේට්ටම් ගැන පැමිණිල්ලක් කළේ ඇයි..? හැරත්,අලුත් ජනාධිපතිවරයකු පත්වූ වහාම..?
ඇයගේ පැමිණිල්ල කරන්නේ කරන්නේ පොලිසියට නොවේ. සිය තානාපති කාර්යාලයේ ඉහල නිලධාරින්ටය. ස්විට්සර්ලන්තය කියන්නේ "ඇස්ටරික්ස් " කතා මාලාවේ එන පරිදි රෝමන්වරුන්ගේ දේශය වැනී මෝඩයන්ගේ දේශයක් නම් ඇගේ බොරු පැමිණිල්ලෙන් රැවටී ස්විස් තානාපති කාර්යාලය දැඩි පියවර ගත්තා වන්නට පුළුවන. එහෙත් අප දන්නා ස්විට්සර්ලන්තය එවැනී රටක් නොවේ. ස්විස් තානාපති කාර්යාලය කළේ, පැහැර ගැනීමට,තර්ජනයට හා ලිංගික අතවරයට පත්ව දැඩි ශාරීරික හා මානසික පීඩාවකට ලක්ව සිටි ගානියා බැනිස්ටර්ට සම්පුර්ණ ආරක්ෂාව හා පහසුව සපයා ඇගේ පැමිණිල්ල ඍජුව සීඅයිඩියට ඉදිරිපත් නොකර,සිය කාර්යාලයේ දෙවැනි නිලධාරියා මගින් නොවැම්බර් 27 දා පැමිණිල්ලක් කිරීමය.ගානියා පැමිණිලි කළා නම් විය හැක්කේ කුමක්ද..? ඇගේ පැමිණිල්ල ලියා ගන්නේද..? ඒ ගැන විමර්ශනය කරන්නේද..? ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවයි. එහි පොලිසියයි.
ඒ වන විට ගෝඨාභය ආණ්ඩුව හිටියේ 2005-2014 අතර කාලයේ තමන්ගේ ආණ්ඩුවේ දුෂණ, වංචා, මිනී මැරුම්,අතුරුදහන් කිරීම් හෙළිදරව් කරන්නට මැදිහත්වුණු අයගෙන් එලව එළවා පළිගැනීමේ වුවමනාවකය. ගානියා හසු වුණේ ඒ වෛරයේ ගිනි දළුවටය. එහෙත් ස්විස් තානාපති කාර්යාලය මැදිහත් වීම නිසා ආණ්ඩුවේ ඒ පහසු ඉලක්කය වැරදි ගියේය. සිදුවීම ජාත්‍යන්තරීකරණය විය. ස්විට්සර්ලන්තයේ විදෙස ලේකම් පැස්කල් බෙරිස්විල් ජර්මනියේ සිටි ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිඅරච්චි සිය විදේශ අමාත්‍යංශයට කැදවා තම තානාපති කාර්යාලයේ නිලධාරිනියකට මෙවැන්නක් සිදුවීම පිළිබද කනස්සල්ල පල කළාය. ගානියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් ඇයගෙන් ප්‍රශ්න කිරීම කල් දමන ලෙස ඉල්ලා සිටියාය. සිය නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වයට ප්‍රමුඛතාව හිමි වන බව විදේශ ලේකම්වරිය ලංකා තානාපතිවරයාට අවධාරණය කර තිබිණ. කවුරු හෝ කාන්තාවක තාමා පැහැර ගත්තායැයි, ලිංගික අඩන්තේට්ටම් කළා යැයි කී පමණින් කරුණු සොයා නොබලා, දෙරට අතර විරසකයක් වර්නධය විය හැකි බව පෙනි පෙනී රාජතාන්ත්‍රිකව මැදිහත් වීමට තරම් ස්විට්සර්ලන්තය මෝඩයන්ගේ දේශයක් බව අප අසා තිබේද..?
පොලිසිය නිකම් හිටියේ නැත. ගානියා තමන්ගේ ග්‍රහණයට ගැනීමට අවශ්‍ය සියලු පියවර ගත්තේය. ගානියා මගින් පැමිණිල්ලක් කිරීම හා ඇගේ ප්‍රකාශයක් පොලිසියට දීම ඇගේ සෞඛ්‍ය තත්ත්වය මත ඒ අවස්ථාවේදී කළ නොහැකි බව ස්විස් තානාපති කාර්යාලය කියා සිටිද්දී පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයමගින් නියෝග ලබා ගෙන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ගානියා කැදවා ගත්තේය. එය ලංකාවේ නීතිය හැටියටද නිවැරදිය. තමන්ට අපරාදයක් සිදු වුණු විට පැමිණිල්ලක් කළ යුත්තේ වින්දිතයාය. සී.අයි.ඩි.ය ඇයගේ ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇය අත්අඩංගුවට ගත්තේය.
මේ සිදු වීම වන විශේෂ කාලය කුමක්ද..? ලක්‍ෂ 69කගේ ඡන්දයෙන් මහා විරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත් වී දින කිහිපයකි. ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේ ගෝඨාභය රාජපක්ෂට ඍජුව හෝ වක්‍රව හෝ එල්ලවී තිබුණු මිනී මැරුම්.පැහැර ගෙන යාම්අ, තුරුදහන් කිරීම් හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් වූ චොදනාවලට පෙරලා පහර දෙන්නට අවස්ථාවත්, බලයත්, ශක්තියත් නැවත ලැබී තිබුණු අවස්ථාවකයි. ගෝඨාභය යටතේ සිටි විවිධ රාජ්‍ය හා හමුදා නිලධාරින්ට එරෙහිව පුද්ගල පැහැර ගැනීම, කප්පම් ඉල්ලීම, අතුරුදහන් කිරීම, ඝාතනය කිරීම ආදී විවිධාකාර අපරාධ සදහා නඩු පවරනු ලැබ තිබුණු කාලයයි.
අවුරුදු පහ හයක් දහයක් කාලයේ වැලිතලාවෙන් යටවී, වැදගත් සක්‍ෂි භූමිගතව තිබුණු එම අපරාධවල සුල මුල සොයා යාම පහසු කාර්යක් නොවේ. ඒ අසීරු කාර්යයේ පෙරමුණ ගත දක්‍ෂ විමර්ශකයෝ දෙදෙනෙක් සීඅයිඩියේ සිටියහ. එක්කෙනෙක් සීඅයිඩි අධ්‍යක්‍ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය. අනෙකා, සංවිධානාත්මක අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය.
යහ පාලන ආණ්ඩුව කාලයේ මේ විමර්ශකයන් පමණක් නොව, ඔවුන්ගේ විමර්ශන අනුව අධිකරණය ඉදිරියේ නඩු පැවරු, මහත් කැපවීමෙන් ඒ නඩුව ඉදිරියට ගෙන ගිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජෙයෂ්ඨ නීතීඥවරුන්ට ද තිබුණු එක ප්‍රධාන සැකයක් විය. "මේ ආණ්ඩුව වෙනස් වුණොත් අපට අත්වන ඉරණම කුමක්ද" ඒ ප්‍රශ්නය සාධාරණය. යහ පාලන ආණ්ඩුව පැරදී යළිත් රාජපක්ෂවරුන් බලයට පත් වුණොත්, මේ වන විටත් ඔවුන්ගෙන් එල්ලවී තිබුණු බලපතළ වෛරය හා ක්‍රෝධය මහා පළිගැනීමේ යාන්ත්‍රණයක් හැටියට මුහුණට හමු වන බව ඕනෑම සාධාරණ මොළයකට පැහැදිලි වන දෙයකි. එය සිදු විය. යහ පාලන ආණ්ඩුවේ දෙපිටිකාට්ටු නායකයන් දෙපලගේ මුග්ධකම නිසා වසර පහකින් ආණ්ඩුව බිඳ වැටිණ. පරණ පුරුදු පාදඩ පාලනය නැවත බලයට පත්විය. එවැනි තත්ත්වයකදී, ඉහතකී විමර්ශකයන්ට අත්වන ඉරණම පැහැදිලිය. ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ සිට අනෙක් පැත්තෙන් හමුදාවල සන්නද්ධ සාමාජිකයන් ඇතුළු සියලු අපරාධවල චුදිතයන්ගේ දවා හළු වන වෛරය එවැනි පාලනයක් යටතේ සක්‍රිය වන බව පැහැදිලිය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙරත්, ජනාධිපති වූ පසුත්, මේ අපරාධ කරුවන් ඇල්ලීමේ වැඩ පිළිවෙළ ගැන හිටියේ දැවෙන කෝපයකිනි. මේ විමර්ශකයන් නිසා තමාගේ හා තමා වට කර ගෙන සිටි හමුදා නිලධාරීන්ගේ අපරාධ, වංචා, දුෂණ ආදිය හෙළිදරවු වනු දුටු ගෝඨාභය රාජපක්ෂ කල්යල් බැලුවේ තමන්ට බලය ආ විගසම ඔවුන් බිම හෙලන්නට විය යුතුය. ඔහු මේවා හැදින්වුයේ හුදු දේශපාලන පලිගැනීම් ලෙසය. මේ අවදානම තේරුම් ගත් පිරිස ශානි අබේසේකරට හා නිශාන්ත සිල්වාට වහාම රටින් පිට වන බව කියූහ. නිශාන්ත සිල්වා ඒ අවදානම තේරුම් ගෙන නොවැම්බර් 24දා රටින් පිටවී ස්විට්සර්ලන්තයට ගියේය. ශානි අබේසේකර නොගොස් නැවතුනේය.
ජනාධිපති පදවියට පත්වූ වහාම ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 24දා භික්ෂුන් පිරිසක් සමග කළ සාකච්ජාවකදී ශානි අබේසේකරගේ සහ නිශාන්ත සිල්වාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචානය කළේ මෙසේය. "අර දැන් අපේ විමර්ශනය කරපු මිනිහා අන්න අද පැනල ගිහිල්ලා. නිශාන්ත සිල්වා ජිනීවා ගිහිල්ලා පැනලා" පසු ගිය වසර 5 තුළ රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට ඔවුන් කටයුතු කළ බවද ජනාධිපතිවරයා එහිදී කියා තිබිණි.
"ශානි අබේසේකර එයාම හිතා ගෙන ඒකට හරියන්න විමර්ශනය කරනවා. ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි නිලධාරීන්වයි නාවික හමුදාපතිවරයා හිරේ දාන්නයි..බුද්ධි අංශය හිරේ දාන්නයි..මාව හිරේ දාන්නයි..එච්චර විතරක් නෙවෙයි..ඒගොල්ලෝ මගේ නම කියන්න කියලා බල කරපු නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සාධාරණය කියන්නේ ඒක නෙවෙයිනේ..නීතියේ ආධිපත්‍ය කියන්නේ ඒක නොවෙයිනේ.." ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.
ගෝඨාභයගේ මේ වෛරී මෙහෙයුමට උඩගෙඩි දෙමින් ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ඔහු සිදු කළ සියලු විමර්ශන නැවත අලුතෙන් කළ යුතු බවට බෞද්ධ භික්ෂූන් පිරිසක් ජනාධිපතිරයාගෙන් ඉල්ලීමක් ද කර තිබිණ.
නිශාන්ත සිල්වා ලංකාවෙන් පිටව යාම ගෝඨාභය රාජපක්ෂ අපකීර්තියට පත් කිරීමට කළ ප්‍රයෝගයක් හැටියට හුවා දක්වන බොහෝ දෙනෙකු, ඔහු ලංකාවේ සිටියේ නම් විය හැකිව තිබුණු දේ ගැන කිසිවක් නොකියති, නොලියති. එක් උදාහරණයක් මෙසේය. 2018 ඔක්තෝබර් 26 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කළේය. ඔක්තෝබර් 26 වන දින දක්වා පොලීසිය, නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ පැවති නමුත් ඉන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැසට් නිවේදනයක් මගින් පොලීසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර ගත්තේය. ඒ වහාම නිශාන්ත සිල්වාට සී.අයි.ඩී. යේ සිට මීගමුවට මාරුවක් ලැබිණි. ඒ ඇයි..? පළි ගැනීමටය. එයට විරුද්ධව විශාල හඬක් සමාජයේ නැගීම නිසා ඒ මාරුව අවලංගු කරන්නට පොලිස් කොමිසමට සිදු විය. ජනාධිපතිවරයාගේ නියෝගය හා උපදෙස් අනුව නිශාන්ත සිල්වාට වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමු කොට්ඨාශය වෙත ස්ථාන මාරුවක් ලබා දුන් බව ඒ අවස්ථාවේ පොලිස්පති පූජිත ජයසුන්දර ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක සඳහන් විය.
"දිවයින" ඇතුළු ජාති වාදී නඩයේ පුවත්පත්වල ඊනියා ආරක්ෂක ලියුම්කරුවන් නිශාන්ත සිල්වාගේ නම සඳහන් කළේ (නිශාන්ත කන්දප්පා) හැටියටය. ඒ ඔහුගේ දෙමළ සම්භවය ඉස්මත්තට ගෙන ඔහුට අවමන් කරන්නට පමණක් නොව මේ කුමන්ත්‍රණය සිංහල-බෞද්ධ ගෝඨාභය රණවිරුවාට එරෙහිව දෙමළ අය සිදු කරන්නක් බවත් අවධාරණය කරන්නටය.
නිශාන්ත සිල්වා ස්විර්සර්ලන්තයට පිටත්ව යාම වළක්වා ගන්න නොහැකි වීම නිසා ගෝඨාභයගේ ආණ්ඩුව කළේ කුමක්ද..? ඒ වන විට සී.අයි.ඩී. යේ සේවය කරන නිලධාරීන් 704 දෙනාටම පොලීසියේ අවසරයකින් තොරව රටින් බැහැර වෙන්නට ඉඩ නොදෙන ලෙස නියම කරමින් ඔවුන්ගේ නාම ලේඛනය ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලයට ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කිරීමය. සාමාන්‍යයෙන් කිසිවෙකු රටින් පිටවීම වළක්වන ලෙස ගුවන්තොටුපොළ බලධාරීන්ට නියෝග කිරීමේ බලය තිබෙන්නේ අධිකරණයකට පමණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අධිකරණයටත් උඩින් යමින්, මේ නියෝගය කළේය.
රටින් පිටව නොයා රැදි සිටි සීඅයිඩි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගෙන් පලිගැනීම ඇරඹිණි. ගෝඨාභය ජනාධිපති වී සතියක් ඉක්මෙන්නට පෙර ශානි සීඅයිඩි අධ්‍යක්ෂක තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට එවකට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කළේය. ඒ වන විට ශානි අබේසේකර 2019 අප්‍රේල් පාස්කු දින බෝම්බ ප්‍රහාරය පිළිබද විමර්ශනවල යෙදී සිටියේය.
නිශාන්ත සිල්වාට හා ශානි අබේසේකරට අත්වන ඉරණම ගැන තේරුම් ගන්නට ඔවුන් විමර්ශනයට දායක වූ අපරාධ ගණනාව හැදින්වීම පමණක් ඇතිය. තරුණයන් එකොලොස් දෙනෙකු කප්පම් සදහා පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ ගන්සයිට් නමින් හැදින්වෙන බිම්ගෙයක රදවා තබා අතුරුදහන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ගෝඨාභය රාජපක්ෂ රජයේ අරමුදල් යොදවා මැදමුලන මවුපිය කෞතුකාගාරයක් ඉදිකිරිම, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම, උපාලි තෙන්නකෝන්ට පහර දී පැහැර ගෙන යන්නට වැයම් කිරීම, කිත් නොයාර් පැහැර ගෙන ගොස් වධ හිංසා කිරීම, රගර් ක්‍රීඩක වශිම් තාජුදින් ඝාතනය, රතුපස්වල වෙඩි තැබිම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචාන්ද් ඝාතනය වැනි දේ ඉන් කීපයක් පමණි. රාජපක්ෂවරුන්ගේ අපරාධකාරී රාජ්‍යයේ වග තුග පිළිබද අසාදු වාර්තාවක් බඳු මේ අපරාධ ගැන විමර්ශනය කළ වුන් රාජපක්ෂ වෛරයේ කේන්ද්‍රය බවට පත් වීම පුදුමයක් නොවේ. ඉතින්, මේ අපරාධ ගැන විමර්ශනය කළ නිලධාරීන්ට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් නොව කිසිම රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ සුවසේ හිදින්නට ඉඩ දෙනවද..?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා කීපයකදී සීඅයිඩි විවේචානය කරමින් විමර්ශනවලට අදාළව හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කළේය. ඉන්පසු ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. 2014 වසරේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාල අධිකරණ කටයුත්තක් සදහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවක් ඔහුට විරුද්ධව ඉදිරිපත් විය. මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී කොවිඩ්-19 ආසාදිත වූ ශානි අබේසේකර, අයිඩිඑච් රෝහලට ඇතුලත් කරන්නට ජාතික මානව හිමිකම් කොමිසමට දෙවතාවක්ම බන්ධනාගාර කොමසරිස්වරයා වෙත සිහි කැඳවීම් කරන්නට සිදු විය. ඒ සමගම එම විමර්ශනවලට සහාය වූ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ. ශානි අබේසේකර කොටු වෙන විදිහට සාක්ෂි ලබා දෙන මෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු තමන්ට බලපෑම් කළ බව උප පොලිස් පරීක්ෂක සුගත් මොහාන් මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළ බවට මාධ්‍ය වාර්තාවල දැක්විණ. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබාදෙන මෙන් කරනලද බලපෑම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ඇම්නෙස්ට් ජාත්‍යන්තරයේ දකුණු ආසියානු කටයුතු පිළිබද පර්යේෂිකා නීතිවේදිනී තයාගී රුවන්පතිරණ ද සදහන් කොට තිබුණි. ශානි අබේසේකරට හිමි නොවුණේ මරණය පමණයි. අවසානයේ ශානි අබේසේකරට රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මිදෙන්නට හැකි වුණේ අභියාචානාධිකරණ නියෝගයක් මතය.
ගානියා බනිසටර් ප්‍රැන්සිස්ගේ කතාව මේ කතාවේම කොටසකි. ඇය කළ වරද ගැන තේරුම් ගන්නට මේ පසුබිම් විස්තරය සහාය වෙයි. නිශාන්ත සිල්වා රටින් පිටව යාමේ පළිය ගැනුණේ ගානියා බැසිස්ටර්ගෙන්ය. ඇප ලබා රිමාන්ඩ් බන්නධගාරයෙන් මිදුණු නමුත් රටින් පිටවීම ගානියාට තහනම් කොට තිබුණි. විදේශ ගමන් බලපත්‍රය තිබුණේ අධිකරණ භාරයේය. ඇය ලංකාවේ ජීවිතය ගත කළේ රටට එරෙහි ජනාධිපති ගෝඨාභයට එරෙහි දෝහිකමක් කළ ගැහැනියක තත්වයෙනි. ස්වාමිපුර්ෂය හා දරුවන් දෙදෙනා ස්විට්සර්ලන්තයේ සිටි නමුත් එහි යන්නට ඇයට අවසර නැත. යන්නට නම් නීතිපතිවරයා කොළඹ මහාධිකරණය ඉදිරියේ ඇයට විරුද්ධව පැවරූ නඩුව අවසන් වන තුරු සිටිය යුතුය. එයින් ඇය නිදොස් විය යුතුය. නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවේ සාක්‍ෂි කරුවන්ගේ නම් 80ක් පමණ තිබිණි. ඔවුන් සියල්ලන් සාක්ෂි දීම සදහා නොකැදවෙන නමුත්, ඉන් අඩක් සාක්ෂියට ආවත් නඩුව කොතරම් කාලයක් දිග්ගැස්සිය හැකිද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මේ සියලු සාධකවල එකතුව වනාහී ගානිය බැනිස්ටර් ප්‍රැන්සිස් මහාධිකරණය ඉදිරියේ වරද පිළිගනිම නොවේද..?
Lanka Newsweek © 2026